බාලදක්ෂ සේවයේ නියුතු නායකයින් සඳහා සුපිපි ප්‍රථම අදියර 𝟭 පාඨමාලාව පැවැත්වේ….

Sep 29, 2026News

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් පෙර පාසල් දරුවන් වෙනුවෙන් අභිමානවත් ලෙස ස්ථාපිත කරන ලද නව බාලදක්ෂ අංශය වන “සුපිපි බාලදක්ෂ අංශය” සංවර්ධනය කිරීම උදෙසා, දැනට බාලදක්ෂ කටයුතුවල නිරත වන නායක නායිකාවන් සඳහා වූ සුපිපි බාලදක්ෂ සංවර්ධන සහ I වන අදියර පුහුණු පාඨමාලාව, 2026 සැප්තැම්බර් 27 වන දින කොළඹ ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙය, සුපිපි අංශය හඳුන්වාදීමෙන් අනතුරුව බාලදක්ෂ කටයුතුවල නියුතු නායක නායිකාවන් සඳහා පවත්වනු ලැබූ ප්‍රථම 1 වන අදියර පාඨමාලාව වන අතර, ඒ සඳහා සෑම බාලදක්ෂ දිසාවකින්ම සහකාර දිසා කොමසාරිස් (පුහුණු), සහකාර දිසා කොමසාරිස් (සුපිපි) සහ එම දිසාව නියෝජනය කරමින් එක් ජාතික පුහුණු කිරීමේ මණ්ඩල සාමාජිකයෙක් බැගින් තිදෙනෙක් කැඳවා තිබිණි. ඒ අනුව, සියලුම දිසා නියෝජනය කරමින් 87 දෙනෙක් මේ සඳහා සහභාගී වූහ.
වත්මන් ප්‍රධාන කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ කාලීන අදහසකට අනුව මෙරට ආරම්භ කරන ලද සුපිපි බාලදක්ෂ අංශය යනු, වයස අවුරුදු 3ත් 5ත් අතර පෙර පාසල් දරුවන් උදෙසා විශේෂයෙන් නිර්මාණය කරන ලද, “අත් සහ සිත්” මුල් කරගත් සුවිශේෂී වැඩසටහනකි. තවමත් ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට ඉතා ආගන්තුක මෙම පෙර පාසල් දරුවන් මුල් කරගත් බාලදක්ෂ සංකල්පය ක්‍රියාත්මක කරනු ලබන්නේ ලොව රටවල් අතළොස්සක් පමණි. ඒ අතර, ශ්‍රී ලංකාවේ පෙර පාසල් දරුවන් හෙවත් අපගේ විධිමත් අධ්‍යාපන ක්‍රියාවලියේ ආරම්භක අවධිය ඉලක්ක කරමින් හඳුන්වා දී ඇති මෙම බාලදක්ෂ වැඩසටහන, මුල් ළමා විය සංවර්ධනය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන විශිෂ්ට ක්‍රමවේද රාශියකින් සමන්විත වේ.
ප්‍රධාන කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ සහ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්, කර්නල් (විශ්‍රාමික) පද්මලාල් පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ පැවති මෙම පාඨමාලාවේ පාඨමාලා නායකත්වය ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්තුමා විසින් දරනු ලැබීය. සිඟිති සහ සුපිපි අංශ භාර සහකාර ප්‍රධාන කොමසාරිස්තුමිය වන චමිලා කුලසේකර මහත්මිය, විශේෂ කොමසාරිස් ( ප්‍රධාන කොමසාරිස් සම්බන්ධිකරන ) සහ හිටපු ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් එම්. ඊ. එස්. ජයසිංහ මහතා, පුහුණු කිරීමේ අධ්‍යක්ෂවරුන් සහ මූලස්ථාන කොමසාරිස්වරුන් වන තිලක්මන් පද්මසිරි සහ N. ඉන්ද්‍රජිත් රාමනායක මහතුන්, මූලස්ථාන කොමසාරිස් ඉනෝකා ජයසේකර මහත්මිය ඇතුළු මහත්ම මහත්මීන් 10 දෙනෙකුගෙන් යුත් ආචාර්ය මණ්ඩලයක් මෙම පාඨමාලා සම්පාදනය සඳහා දායක වූහ. තවද මෙම අවස්ථාවේ සමරම්භය සඳහා කළමනාකරණ සහ මුල්‍ය අංශ භාර සහකාර ප්‍රධාන කොමසාරිස් සම්පත් කාරියවසම් මහතා සහ උතුරු නැගෙනහිර පළාත භාර පළාත් කොමසාරිස් සසිකුමාර් පොන්නුතූරෙයි මහතා එක්ව සිටියේය.
මෙවැනි පුහුණු පාඨමාලාවක් පැවැත්වීමෙන් අපේක්ෂිත අරමුණ වන්නේ, දිසා නියෝජිතයන් පුහුණු කර ඔවුන් හරහා දිසා මට්ටමින් සුපිපි බාලදක්ෂ කටයුතු සිදු කිරීමට අවශ්‍ය ගුරු වරුන් පුහුණු කරමින් එම අංශයේ කටයුතු විධිමත්ව සංවර්ධනය කිරීමයි.

Related

Latest News

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්‍රහක සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...