ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්රහක සහාය ලබාදෙන රාජ්ය හා පෞද්ගලික ආයතනවල ප්රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී, ජාතික බාලදක්ෂ ජම්බෝරිය සාර්ථක කරගැනීම සඳහා අවශ්ය පහසුකම් සපයන රාජ්ය ආයතනවල දායකත්වය සහ මූල්ය අනුග්රාහකත්වය ලබාදෙන රාජ්ය හා පෞද්ගලික ආයතනවල දායකත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ 115 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2027 ජනවාරි 17 සිට 23 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ජාත්යන්තර ක්රීඩාංගනය කේන්ද්ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා දේශීය හා විදේශීය බාලදක්ෂයන් 12,000කට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දරුවන්ට සහ තරුණ තරුණියන්ට තම ජිවිතයේ අරුත්බර සහ සුවිශේෂී අත්දැකීමක් වන බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහාය ලබාදීමේ වැදගත්කම ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය. රජය විසින් පූර්ණ සහාය ලබාදෙන අතරම, පෞද්ගලික අංශයේ සක්රීය සහභාගීත්වය හා දායකත්වය ද ඒ සඳහා අත්යවශ්ය බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා, ප්රධාන බාලදක්ෂ කොමසාරිස් ජ්යෙෂ්ඨ නීතිඥ මනෝජ් නානායක්කාර මහතා, නියෝජ්ය ප්රධාන කොමසාරිස් ජ්යෙෂ්ඨ නීතිඥ කපිල කල්යාණ පෙරේරා මහතා, ජාත්යන්තර කොමසාරිස් සහ ජම්බෝරි සම සංවිධායක කොමසාරිස් වෛද්ය අසංක එරියාව මහතා, සහකාර ප්රධාන කොමසාරිස් සහ ජම්බෝරි සම සංවිධායක කොමසාරිස් ඉංජිනේරු අමිල් අබේසුන්දර මහතා, සහකාර ප්රධාන කොමසාරිස්වරුන්, රාජ්ය ආයතනවල නිලධාරීන් සහ රාජ්ය හා පෞද්ගලික අනුග්රාහක ආයතනවල නියෝජිතයෝ ද සහභාගී වූහ.


