ශ්රී ලංකා බාලදක්ෂ සංගමය විසින් පෙර පාසල් දරුවන් වෙනුවෙන් අභිමානවත් ලෙස ස්ථාපිත කරන ලද නව බාලදක්ෂ අංශය වන “සුපිපි බාලදක්ෂ අංශය” සංවර්ධනය කිරීම උදෙසා, දැනට බාලදක්ෂ කටයුතුවල නිරත වන නායක නායිකාවන් සඳහා වූ සුපිපි බාලදක්ෂ සංවර්ධන සහ I වන අදියර පුහුණු පාඨමාලාව, 2026 සැප්තැම්බර් 27 වන දින කොළඹ ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්රයේදී ප්රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
මෙය, සුපිපි අංශය හඳුන්වාදීමෙන් අනතුරුව බාලදක්ෂ කටයුතුවල නියුතු නායක නායිකාවන් සඳහා පවත්වනු ලැබූ ප්රථම 1 වන අදියර පාඨමාලාව වන අතර, ඒ සඳහා සෑම බාලදක්ෂ දිසාවකින්ම සහකාර දිසා කොමසාරිස් (පුහුණු), සහකාර දිසා කොමසාරිස් (සුපිපි) සහ එම දිසාව නියෝජනය කරමින් එක් ජාතික පුහුණු කිරීමේ මණ්ඩල සාමාජිකයෙක් බැගින් තිදෙනෙක් කැඳවා තිබිණි. ඒ අනුව, සියලුම දිසා නියෝජනය කරමින් 87 දෙනෙක් මේ සඳහා සහභාගී වූහ.
වත්මන් ප්රධාන කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ කාලීන අදහසකට අනුව මෙරට ආරම්භ කරන ලද සුපිපි බාලදක්ෂ අංශය යනු, වයස අවුරුදු 3ත් 5ත් අතර පෙර පාසල් දරුවන් උදෙසා විශේෂයෙන් නිර්මාණය කරන ලද, “අත් සහ සිත්” මුල් කරගත් සුවිශේෂී වැඩසටහනකි. තවමත් ලෝක බාලදක්ෂ ව්යාපාරයට ඉතා ආගන්තුක මෙම පෙර පාසල් දරුවන් මුල් කරගත් බාලදක්ෂ සංකල්පය ක්රියාත්මක කරනු ලබන්නේ ලොව රටවල් අතළොස්සක් පමණි. ඒ අතර, ශ්රී ලංකාවේ පෙර පාසල් දරුවන් හෙවත් අපගේ විධිමත් අධ්යාපන ක්රියාවලියේ ආරම්භක අවධිය ඉලක්ක කරමින් හඳුන්වා දී ඇති මෙම බාලදක්ෂ වැඩසටහන, මුල් ළමා විය සංවර්ධනය කෙරෙහි ප්රබල බලපෑමක් ඇති කරන විශිෂ්ට ක්රමවේද රාශියකින් සමන්විත වේ.
ප්රධාන කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ සහ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්, කර්නල් (විශ්රාමික) පද්මලාල් පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ පැවති මෙම පාඨමාලාවේ පාඨමාලා නායකත්වය ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්තුමා විසින් දරනු ලැබීය. සිඟිති සහ සුපිපි අංශ භාර සහකාර ප්රධාන කොමසාරිස්තුමිය වන චමිලා කුලසේකර මහත්මිය, විශේෂ කොමසාරිස් ( ප්රධාන කොමසාරිස් සම්බන්ධිකරන ) සහ හිටපු ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් එම්. ඊ. එස්. ජයසිංහ මහතා, පුහුණු කිරීමේ අධ්යක්ෂවරුන් සහ මූලස්ථාන කොමසාරිස්වරුන් වන තිලක්මන් පද්මසිරි සහ N. ඉන්ද්රජිත් රාමනායක මහතුන්, මූලස්ථාන කොමසාරිස් ඉනෝකා ජයසේකර මහත්මිය ඇතුළු මහත්ම මහත්මීන් 10 දෙනෙකුගෙන් යුත් ආචාර්ය මණ්ඩලයක් මෙම පාඨමාලා සම්පාදනය සඳහා දායක වූහ. තවද මෙම අවස්ථාවේ සමරම්භය සඳහා කළමනාකරණ සහ මුල්ය අංශ භාර සහකාර ප්රධාන කොමසාරිස් සම්පත් කාරියවසම් මහතා සහ උතුරු නැගෙනහිර පළාත භාර පළාත් කොමසාරිස් සසිකුමාර් පොන්නුතූරෙයි මහතා එක්ව සිටියේය.
මෙවැනි පුහුණු පාඨමාලාවක් පැවැත්වීමෙන් අපේක්ෂිත අරමුණ වන්නේ, දිසා නියෝජිතයන් පුහුණු කර ඔවුන් හරහා දිසා මට්ටමින් සුපිපි බාලදක්ෂ කටයුතු සිදු කිරීමට අවශ්ය ගුරු වරුන් පුහුණු කරමින් එම අංශයේ කටයුතු විධිමත්ව සංවර්ධනය කිරීමයි.


