“බාලදක්ෂ ව්යාපාරය ශ්රී ලංකාව තුළ ජාතික සංහිඳියාව උදෙසා ඉටු කරන කාර්යභාරය අගය කරන බවත්, ඒ සඳහා ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ නායකත්වයෙන් ගෙන යන ක්රියාවලිය විශේෂ ඇගයීමකට ලක් කරන බව”ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන ගමගේ මහතා පවසයි..
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ සංකල්පයක් අනුව සංවිධානය කළ ජාතික බාලදක්ෂ පොසොන් කලාපය තුළ පැවැත්වූ පහන් කූඩු තරඟාවලියේ ජයග්රාහී බාලදක්ෂ දිසාවන් සඳහා ත්යාග හා සහතිකපත් ප්රදානය කිරීම සහ පොසොන් බැති ගී සරණිය සඳහා සහභාගී වූ බාලදක්ෂ කණ්ඩායම් වෙත සහතිකපත් ප්රදානය කිරීම අගෝස්තු මස 29 දින ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී සිදු විය.
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ආරාධනයෙන් ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන ගමගේ මහතා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. එම අවස්ථාවට ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා මහතා, ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරීන්, ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ප්රමුඛ බාලදක්ෂ කොමසාරිස්වරුන්, බාලදක්ෂ නායක/නායිකාවන් ඇතුළු බාලදක්ෂයන් පිරිසක් සහභාගී වූහ.
උත්සව සභාව අමතමින් ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන ගමගේ මහතා ප්රකාශ කළේ, පොසොන් අත්දැකීම කොළඹ සහ නගරාසන්න ප්රදේශවල ජනතාවට සමීප කිරීමේ අරමුණින් බාලදක්ෂ ව්යාපාරය මෙම වසරේ “කොළඹටත් පොසොන්” නමින් සංවිධානය කළ ජාතික බාලදක්ෂ පොසොන් කලාපය ඉතා සාර්ථකව පැවැත්වීමට හැකි වූ බවයි. එම වැඩසටහන සඳහා දායක වූ රාජ්ය හා පෞද්ගලික ආයතන වෙත ජනාධිපති කාර්යාලයේ ස්තූතිය ද පළ කළේය.
මෙම වැඩපිළිවෙළ සඳහා ජනාධිපති කාර්යාලයට ද හවුල් වීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව සඳහන් කළ ඒ මහතා, අතිගරු ජනාධිපති සහ ශ්රී ලංකාවේ ප්රධාන බාලදක්ෂ අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලයේ සහ ජනාධිපති ලේකම්වරයාගේ දායකත්වය ඇතිව මෙම වැඩපිළිවෙළ ඉදිරි වසරවලදී ද අඛණ්ඩව ක්රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ප්රකාශ කළේය.
මෙම අවස්ථාවේදී අතිගරු ජනාධිපති සහ ශ්රී ලංකාවේ ප්රධාන බාලදක්ෂ අනුර කුමාර දිසානායක මහතාගේ “ක්ලීන් ශ්රී ලංකා” ව්යාපෘතියට සමගාමීව බාලදක්ෂ ව්යාපාරය ඉටු කරන සංවේදී සමාජ මෙහෙවර ද ඇගයීමට ලක් විය.
ජාතික බාලදක්ෂ පොසොන් කලාපය සඳහා සහභාගී වූ සියලු බාලදක්ෂ දිසාවන් වෙත ඇගයීම් සහතිකපත් සමඟ මුදල් ත්යාග ද ප්රදානය කෙරිණි. පහන් කූඩු තරඟාවලියේ ප්රධාන වශයෙන් බාලදක්ෂ කණ්ඩායම් 10ක් ඇගයීමට ලක් කළ අතර, ප්රථම ස්ථානය වත්තල-ජාඇල බාලදක්ෂ දිසාවේ ශ්රී ධර්මාලෝක විද්යාලීය බාලදක්ෂ සමූහයත්, දෙවන ස්ථානය සඳහා මාතර බාලදක්ෂ දිසාවේ දිසා සංගමයේ පහන් කූඩුවත්, තෙවන ස්ථානය සඳහා කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්යාලයේ බාලදක්ෂ කණ්ඩායමත් දිනා ගැනීමට සමත් විය.
එමෙන්ම පොසොන් බැති ගී සරණිය සඳහා සහභාගී වූ සියලු බාලදක්ෂ කණ්ඩායම් වෙත ද සහතිකපත් ප්රදානය කෙරුණු අතර, එම සහතිකපත් ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන ගමගේ මහතාගේ සුරතින් පිළිගැන්විණි.


